Tag Archives: හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලීමක:

හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලීමක: වැරැදිකරුවෝ 18ක් කොටු වෙති

22 Aug

හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැටලීමක:

වැරැදිකරුවෝ 18ක් කොටු වෙති

13 දෙනකුගෙන් ලක්ෂයක දඩ ආදායමක්

අපවිත්‍ර ආහාර අලෙවිය සහ මදුරුවන් බෝවන ස්ථාන රැසක් හඳුනා ගනී

හොරණ සමූහ බන්දුල ගුලවත්ත

හොරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් ප්‍රදේශයේ කරන ලද වැටලීම්වලදී චෝදනාවලට ලක්වූවන් 18 දෙනකුට එරෙහි පැමිණිලි එකම දිනයකදී විභාග කෙරිණි. චෝදනාවලට ලක්වූවන් දහතුන් දෙනකුට දඩ මුදල් වශයෙන් රු.ලක්ෂයක් ගෙවීමට හොරණ මහේස්ත්‍රාත් වසන්ත රණසිංහ මහතා නියෝග කළේ ය.

ආහාර පනත යටතේ නඩු 12ක් ද නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු 06ක් ද මෙහිදී විභාග කෙරිණි. එක් විත්තිකරුවෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරිණි. නඩු කීපයක් කල් තැබීය.

හොරණ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ප්‍රාදේශික වෙළඳ සැලක දිරාපත් වූ කරවල අලෙවිය සඳහා ප්‍රදර්ශනයට තැබීමට එරෙහිව රු. 15,000 දඩ මුදලක් ගෙවීමට ද නියෝග කර ඇත. අලෙවියට තබා තිබූ ආහාර විවෘතව තැබීම නිසා කිදෙල්පිටිය ප්‍රදේශයේ වෙළෙඳ සල් හිමියෙකුට ද රු. 15,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කෙරිණි. රු. 2000 සිට රු.15,000 දක්වා දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ විවිධ චෝදනා මතය.

මදුරුවන් බෝවෙන ලෙස පරිසරය පවත්වාගෙන ගිය නිවැසියන් හතර දෙනකුටද රු.2000 බැගින් දඩ මුදල් ගෙවීමට නියෝග කෙරිණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ.පී.අයි. ධර්මරත්න මහතාගේ උපදෙස් මත පී.සී.සේනාරත්න, ඒ.ඇල්.ඩී.පෙරේරා, ටී.ජී.ප්‍රසන්න කුමාර, එල්.පී.එල්.පි‍්‍රයන්ත, ඇම්.එච්.බී.ඒ.බණ්ඩාර සෞඛ්‍ය පරීක්ෂකවරු මේ මෙහෙයුම්වලට සහභාගි වූහ.

.