Tag Archives: මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක්

මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක්

22 Aug
ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

ඉංගිරිය, හොරණ, මොරගහහේන, බුලත්සිංහල, මඩල, කිරිඇල්ල, ඇතුළු ප්‍රදේශ රාශියකට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීමේ කටයුතු කරගෙන ගිය ප්‍රධාන තිප්පොළක් වැටලීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය(පානදුර)ට අයත් නිලධාරීහු සමත්ව ඇත.
ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර එම ස්ථානයේ සිට සැකකරුවන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
27 වැනි වියේ පසුවන මෙම සැකකරුවන් දෙදෙනා හොරණ සහ මහනුවර ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.අත් අඩංගුවට  ගන්නා ලද අවස්ථාවේදී මෙම සැකකරුවන්ගේ යට ඇදුම් වල සගවා ගෙන සිටි රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 41, මිලි ග්‍රෑම් 160ක ප්‍රමාණයක්ද නිලධාරීහු විසින් සොයා ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධී කොට්ඨාශයේ කළුතර කොට්ඨාශයේ ස්ථානාධීපති පොලිස් පරීක්ෂක නාලක පී. සුමනරත්න මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතාද ඇතුළුව කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සාලිය ප්‍රියන්ත, බස්නාහිර පළාත් බුද්ධි අංශ පානදුර කොට්ඨාශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.හේවාවසම්, අළුත්ගම පොලිස් ස්ථානාධීපති පොලිස් සැරයන් 55284 අල්විස්, ඉංගිරිය පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත 29018 නිලන්ත යන නිලධාරී මහත්වරු විසින් බස්නාහිර පළාත් බුද්ධී කොට්ඨාශ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රවී සෙනෙවිරත්න, සහකාර පොලිස් අධිකාරී නිහාල් පෙරේරා සහ පානදුර පොලිස් අධීකාරී එච්.එම්.ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත සහ හොරණ සහකාර පොලිස් අධීකාරී සමන් රත්නායක සහ හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක කීර්ති ගුණසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇත.