Tag Archives: පාසලක් පිළිබඳව තොරතුරු

පාසලක් පිළිබඳව තොරතුරු

22 Aug

(හබරණ සමූහ)

අ/කහටගොල්ලෑව විදුහල, කැබිතිගොල්ලෑව කලාපයේ, කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි දුෂ්කර පාසලකි. එච්.බී.ඒ.එස්.උදයකුමාර මහතා මෙහි විදුහල්පති වශයෙන් කටයුතු කරන අතර පළමු ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන මෙම විදුහලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 176 කි. මුළු ගුරුවරු සංඛ්‍යාව 13 කි. නොයෙකුත් දුෂ්කරතා ඇති මෙම විදුහල පහසුකම් සහිත විදුහලක් පරදවා ලෙදර් බෝල ක්‍රිකට් තරගයක් පලමුවරට ජයග්‍රහණය කිරීම එම දරුවන් හැකියාවන් හා දක්ෂතාවයන්ට සාක්ෂියකි.
මෙම සුවිශේෂි ජයග්‍රහණය පිළිබඳ එම විදුහලේ ක්‍රිකට් කණ්ඩායම භාරව මෙන්ම පුහුණුවීම් කටයුතු කරන එස්.එම්.ඒ.බී.එස්.සේනානායක මහතා මෙසේ විස්තර කීය. “මම කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ ඉඳලා මේ විදුහලට ආවේ පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ. ඒ කාළේ ළමයි සැහැල්ලු පන්දු ක්‍රිකට් තමයි සෙල්ලම් කළේ. ඉතින් මට හිතුනා ලෙදර් බෝල් කණ්ඩායමක් හැදුවානම් හොඳයි කියලා. ඊට පස්සේ මම කලින් සේවය කළ පාසලේ සම්බන්ධතා අනුව ලෙදර් බෝල සෙල්ලම් කරන්න අවශ්‍ය උපකරණ ටිකක් ඉල්ල ගත්තා.
එදා තමයි ළමයි ඒ උපකරණ ඉස්සලේලාම දැක්කේ. ළමයින්ගේ දෙමව්පියන්ට අවශ්‍ය උපකරණ ගන්න තරම් වත්කමක් නැති නිසා මම විදුහල්පතිතුමත් එක්ක එකතුවෙලා කොළඹ ආශ්‍රිත ප්‍රධාන නගරවල ලෙදර් බෝල ක්‍රිකට් සෙල්ලම් කරන ජනප්‍රිය පාසල් වලට ලියුම් දැම්මා අපට සහයෝගය දෙන්න කියලා. ඊට පස්සේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අපට ප්‍රතිචාරයක් ලැබුනා. ඒ පසලෙන් අපිට රුපියල් ලක්ෂ එකහමාරක විතර බඩු ලැබුනා. ඒ වගේම අපේ කණ්ඩායම මොරටුවට එන්න කියලා දින තුනක පුහුණුවක් ලබාදුන්නා. ඊට පස්සේ අපි පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන 15 න් පහළ තරග වලට ඉල්ලුම් කළා.

පළමු තරගය තිබුනේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයත් එක්ක. එකේදි අපේ ළමයි පැරදුනා. ඇත්තටම ඒ වෙලාවේ ළමයි බයවුනා. ළමයි තුන්දාහක් විතර ඉන්න පාසලක සෙල්ලම් කරන්න. අපිට ළමයි තෝරගන්න නෑ. ඉන්න ළමයි ටික තමයි පුහුණු කරලා ගත්තේ. ඊට පස්සේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයත් එක්ක එප්පාවල දි තිබුන තරගයෙන් අපි දිනුවා. ඒක පළමුවරට අපි ලබපු ලොකු ජයග්‍රහනයක්. එහිදී ඕවර් 33 කදී අපේ ළමයි ලකුණු 143 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් එප්පාවල කණ්ඩායමට ලබාගන්න පුළුවන් වුනේ ලකුණු 76 යි. ඒ අනුව අපිට ලකුණු 67 ක විශිෂ්ඨ ජයක් ලැබුනා.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු නිලන්ත විමලවීර මහතා ලබාදෙන සහයෝගය අගය කළයුතු අතර මේවන විට අපේ ළමයි හතර දෙනෙක් දිස්ත්‍රික් කණ්ඩායමට තොරගෙන ඉන්නවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්.”
මෙම ක්‍රිකට් කණ්ඩායමේ නායක වශයෙන් සඳුන් ප්‍රදීප් සිසුවා කටයුතු කරන අතර පුහුණුකරු වශයෙන් සුරංග ජයකොඩි ගුරු මහතා කටයුතු කරයි.